ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

මගේ ප්‍රියතම බ්ලොග්

ඇවිත් ගියෝ

Followers

Blog Archive

50. වැරදිකරුවන් නැති අපරාධ



“කෑ… කෑ… මොකද්ද ඒ සද්දේ ගෝරියක්ද…?”

අතට ගත් බත් කට මුවට රුවා ගැනීමට ප්‍රමාද වෙන තාත්තා අසන්නේ රාත්‍රී අඳුරට කන් යොමාගෙනයි… තමා හිඳගෙන සිටි පුටුවෙන් අකමැත්තෙන් නැගිටින අම්මා කලුසුදු රූපවාහිනියේ ශබ්ධය අඩු කිරීමට පියමනිද්දී ඔවුනට හොරෙන් මිදුලට පැනගන්නා මට ඕවිට දෙසින් ඇසෙන කෑගෑමක හඬ පැහැදිලිව ඇසේ…  නිවස දෙසට වරක් නෙත් හෙලන මා දෙමාපියන් නැති බව සැක හැර දැනගෙන සිතේ ඇඳි ඇති මං සළකුණු ඔස්සේ කළුවරේම ඕවිට දෙසට  පිම්මේ දිවයමි…

“හැමදාම හොඳින් කිව්වා හැදෙන පාටක් නෑ… නාකි පරයා තෝ අද තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ…”

ඕවිටට ලංවෙන විට මාගේ වේගය බාල වෙද්දී ඉන් ඔබ්බෙහි වූ කෙසෙල් පඳුරු අසල කඩුවක් ලෙලවමින් කෑගසන රුව සෝමේ මාමාගේ බව මා හඳුනාගන්නේ ඔහුගේ කටහඬිනි… ඔහු නාකි පරයා යැයි ඇමතුවේ අන් කවරෙකුත් නොව ඕවිටේ පැල් කොටයක් අටවාගෙන සිටින අසූ වියට වැඩි මිස අඩු නොවූ තේමිස් සීයාට බව වටහා ගැනීමටද මට අපහසුවක් නොවේ… සෝමේ මාමාගේ ඉඩම මායිමේ ඇති මේ ඕවිටට අනවසරයෙන් පැමිනි තේමිස් සීයා පැලක් අටවා ගත්තේ කෙදිනදැයි මා නොදනිමි… ඔහු අනවසරයෙන් සිටිනවායැයි මා දන්නේත් සෝමේ මාමා බොහෝ වාරයක් එසේ තාත්තා සමග පවසනු මා අසා ඇති නිසාවෙනි… හරිහමන් මායිමක් නැති සෝමේ මාමාගේ ඉඩම් කට්ටිය දෙසට වන්නට තේමිස් සීයා කෙසෙල් පඳුරු ඉන්දවන බවටත්, දිගින් දිගටම කෙරුනු අවවාද ටිකෙන් ටික නොහොඳ නෝක්කාඩු වලටද ඉන් ඉක්බිති රණ්ඩු සරුවල් වලට පෙරලුනු අයුරුත් ඔබ්බෙහි ජීවත් වූ අපට රහසක් නොවීය…

කෙසෙල් පඳුරු කීපයක්ම කැති ගෑ සෝමේ මාමා මීළඟ පඳුර දෙසට හැරුණා පමණි… පැල කොටයෙන් මතුවූ තේමිස් සීයා ඒ දෙසට ගෑටුවේ අත රැඳි මන්නයක්ද සමඟිනි… කෙසෙල් පඳුරු කැති ගාමින් සිටි සෝමේ මමා ඔහුව නොදැක්කෙන් පිටිපසින් පැමිණි තේමිස් සීයා සෝමේ මාමාට මන්නෙන් කෙටීය… වෙනකෙකුගේ නම් දිවි තොර කිරීමට තරම් මන්නය ප්‍රමාණවත් වුවත්, අබල දුබල තේමිස් සීයාට සෝමේ මාමාට මරණිය තුවාලයක් සිදුකිරීමට තරම් වාරුවක් තිබුණේ නැති… තම පිට දෙසින් දැනුනු සංවේදනයෙන් හැරී බැලූ සෝමේ මාමාට තේමිස් සීයා තමාට පහර දෙන්නට පැමිණි වග වටහා ගන්නට ඇතැයි සිතමි…

“මුගේ අම්මට හැමිනෙන්ඩ…. යකෝ… **********”

කටින් කුණුහරුප වැලක් ඇදබෑ ඔහු කඩුවේ පැතලි පැත්තෙන් තේමිස් සීයාගේ පිට මැද්දෑවට දෙකකුත් ඉන් ඉක්බිති අත රැඳි මන්නය විසිවී වැලි පොලවේ හතර ගාතයෙන් පතබෑවෙන සේ වයසක උන්දෑගේ තට්ටම හරහා පා පහරක්ද එල්ල කලෙන් මට අනේ අපොයි කියැවිණි… ඔහුව බේරා ගැනීම්ට කොර අනිමින් පැමිණි තේමිස් ආච්චිට එල්ල කල අනෙත් පා පහරින් උන්දෑද කෙහෙල් ගහක් කපා දැමුවාක් සේ ඇද වැටුනේ මුවින් කිසිඳු හඩක් නොනගමිනි…

මා මෙන්ම කලබලය ඇසී ඒ දෙසට දිවවිත් අඳුරේ සිට මේ සිදුවීම් පෙල  නරඹමින් සිටි ගම්මු අතරෙහි වූ ගමේ ගස් කපන්නෙකු වන ගොත උපාලිට මෙය තවත් බලා ඉන්නට නොහැකි නිසාදෝ ගස් කපන අත්පොරවද රැගෙන ඉදිරියට පැන්නේ මේ අතරේයි…

“නා…. නා… නා… නාකින්ට ගහන්නේ යකෝ… ගහපියකෝ අපි වගේ එකෙකුට…”

තේමිස් සීයාගේ අතේ වරදක් ඇති බව දන්නා නිසාදෝ උපාලි තේමිස් සීයාගේ පැත්තට කතා නොකර ගොත ගසමින් එසේ පැවසීය… ඉදිරියට පැමිනි ගොත උපාලි දෙස මද වේලාවක් බලා සිටි සෝමේ මාමා පිළිතුරු දුන්නේ ඔහුට නොව ඉන් මදක් පිටුපසට වී සිටි තවත් ගැමියෙකු වූ ගොත උපාලිගේ වැඩිමල් සොහොයුරාටයි…

“තොට මෙතන කතාවක් නෑ… සුනිල් අයියේ මාව නරක මිනිහා නොකර මූව මෙතනින් අරන් පලයන්…”

“උඹ මෙන්න මෙහෙ වරෙන් යන්ඩ…” සුනිල් මාමා උපාලි අතින් පොරවා උදුරා ගත්තේ එසේ කියමිනි…

“න්…නැ… නැ… නැ… නෑ මං මේ… මේ… කිව්වේ……” ඔහු මොන මොනවාදෝ කියවද්දී සුනිල් මාමා ඔහුව වදෙන් පොරෙන් වත්තන් කරගෙන ඔවුන්ගේ නිවස දෙසට රැගෙන යන්නට වීය…

මින් තවත් පන්නරය ලද සෝමේ මාමා ඉන් ඉක්බිති කෙසෙල් පඬරැල් එකතු කරන්නට වූයේ තේමිස් සීයාවත් දමා ඔවුන්ගේ පැල් කොටයට ගිනි තියනා බව පවසමිනි… තවත් මෙය බලා ඉන්නට බැරි වු මා කලුවරේම දුවන්නට වූයේ මෙවැනි දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්නට හැකි අයෙකු වන මිල්රෝයි අයියා සොයාගෙනයි… බැහැරක ගොස් සිටි  ඔහුද කැඳවාගෙන නැවත පැමිණෙන විට රණ්ඩුව හමාර වූ තිබුණු අතර තේමිස් සීයාව දමා ගෙය ගිනිතියනවා යැයි පැවසූ සෝමේ මාමා එලිමහනේ තිබූ තේමිස් සීයාගේ වැසිකිලියට පමණක් ගිනි තබා තිබුණි… කිසිවෙකු අසල තිබූ ලොරියක දමාගෙන වයසක් තේමිස් යුවල ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට රැගෙන ගොස් තිබූ අතර සෝමේ මාමා පැමිණිල්ලක් කිරීමට රාත්‍රියේම පොලීසියට ගොස් තිබිණි…

“මේ මිනිස්සුන්ගේ කක්කුස්සිය හදන්න කියලා මම කිව්වා කියලා බොලාගේ මහ එකාට කියාපන්… නැත්තම් මං නරක මිනිහා කියන්ඩෙපා…”

සෝමේ මාමා නැති නිසා ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් සත්තමක් දැමූ මිල්රෝයි  අයියා යන්නට ගියේය…

නැවත් නිවසට පැමිණෙන සෝමේ මාමා මිල්රෝයි අයියාගේ තර්ජනය අසා කිපෙන්නේ දණ්ඩෙන් පහර ලත් සර්පයෙකු මෙනි…

“මූ හරක් හොරා… එනවා මට සාධාරණේ උගන්නන්න…”

සිදුවීමේ තතු දැනගැනීමට තේමිස් සීයාගේ නිවසටද ඉන් අනතුරුව සෝමේ මාමාගේ නිවසට රැස්වෙන වැඩිහිටියනට සෝමේ මාමා පැහැදිලි කරයි… මිල්රෝයි අයියා හරක් හොරකම් වලට සම්බන්ධ පොලීතිසියෙකුට ලග හුන් කාලයේ එම දුරාචාර වලට සම්බන්ඳව සිටි බව ගමේ සියල්ලන්ට රහසක් නොවේ…

“රටේ නැති දහහුරා වැඩ හැම එකම කරන්නේ ඕකා… මගේ ආනමාලු කැන කපපු එකත් ඕකගේ වැඩක්ද කියලා මට සැකයි…”

එකෙකු තම අදහසත් එක්කරද්දී තවකෙකු ඊට හූමිටි තබයි

“කොලඹ පාතාලේ හිටි එකෙක්ලු… එහේ මරන්ඩ එලවද්දී තමයි මෙහෙට වහං වෙලා තියෙන්නේ…”

“කිරි වැස්සියෝ ලොරි වලට දාගන්නවලු පැටියත් එක්ක… පැටියා සුප් වලටලු… නොදකින් ඔවුන්ට යන්ඩ අපායවල් වෙනම හදන්ඩ වෙනවා…”

“ආගමේ එවුන්නේ… සත්තු ගැන හිතේ තෙතමනයක් නෑ ඔවුන්ට…”

සෝමේ මමා පවසන්නේ පිට අත ගාමිනි…

“ඒක නෙමේ… අරුන්දැලව අරගෙන ගිය ලොරිය ආපහු ආවද…?”

ගමේ නිකමෙකු වූ සාමෙලා අසද්දී කිසිවෙකු ඔහුට උත්තර දෙන්නට නොයයි…

“හෙට අනිද්දා වලපල්ලට යන්ඩ ඉන්න නාකියා වෙච්චි…හොරෙන් රිංගපු ඉඩමේ මැරෙනකල්ඉන්නේ නැතුව… මගෙ බිම්අඟලටත් කෙලින්න තේමිසා හැදුවේ…”

සෝමේ මාමා එකම කතාව නැවතත් කියයි…

“ඒකනේ කියන්නේ…”

“සෝමේ මල්ලියේ නරකද උඹත් හෙට දිහාටවත් වෙද මහත්තයටවත් ඔය පිට කොන්ද පෙන්නුවොත්…?”

අබරන් සීයා පවසන්නේ කහට කෝප්පය පසෙකින් තබා බුලත් වට්ටියට නැඹුරු වෙමිනි…

“ඒකනම් බැරියෑ… මම මේ හෙට ලියැදි කෑලි තුනේ ගොයම් ටික කපන්න හිටියේ කාව හරි අල්ලගෙන… ඒක කරගන්න්ඩ තිබුණා මේ අවලමා මන්නෙන් පත නොබෑවනම්…අම්මේ…!”

සෝමේ මමාගේ කෙඳිරිය වැඩිවේ…

“ආ ඒකනම් ඔය මේ කොල්ලෝ දෙතුන් දෙනා අඬ ගහගෙන අපිට හරි කරලා දාන්න බැරියෑ… කෝකටත් හෙට මිල්රෝයියා උගේ හයිය පෙන්නන්ඩ එයිද බලන්ඩත් එක්ක අපි මේ අවටම ඉමූ…”

“අනේ එහනම් අබරන් අයියේ ඔය රත්නේලා, ලලිත්ලා එකතු කරගෙන උඹ හෙට උදැහැනැක්කෙ ඇවිත් යන්ඩ එනවද… හතර පස් දෙනෙක් හිටියනම් වරුවක වැඩේ…”

සෝමේ මාමා පවසන්නේ පිල උඩ වාඩිවී අහසේ තරු ගණින රත්නේ දෙසද බලමිනි…

“අපෝ අපි එඥ්ඥං… නේද රත්නේ…?”

“හ්ම්…”

අබරන් සීයා පවසද්දී රත්නේ හූමිටි තබයි…

~~~~ නිමි ~~~~


ප.ලි. : මීට වසර ගනනකට පෙර අගනුවරින් ඉතා ඈත නොවූ එහෙත් පිටිසර ගමක වූ මේ සිදුවීම, හුදකලා ගමක තවත් හුදකලා සිදුවීමක් පමණකි… ජිනීවා සංගම් යුඬ අපරාද අරවා මේවා ගාව ගන්නවා හෙම නෙමෙයි…

චැට් එකෙන් ලැබුණු ඉල්ලීමක් මත කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා මෙයද පසුව එක්කරන්නට සිත්විය... සෝමේ මාමා හා ලංකා ආණ්ඩුව අතර කිසිදු සම්බන්ධයක් නොවේ... තේමිස් සීයා හා ද්‍රවිඩ ජනතාව අතරද එසේමැයි... සුනිල් මාමා චීනයේ පස් පාගා නොමැති අතර, ගොත උපාලි  ඉන්දියාව කලුද සුදුද කියාවත් නොදනී... මිල්රෝයි අයියා යූ.එන්. එකක් හීනෙන්වත් දැක නැති අතර අබරන් සීයා නම් වීරවංශ කියන නම යන්තම් අසා ඇතුවා වන්නට පුළුවන... රත්නේ යනු මහජනතාවෙන් එකෙක් යැයි ඌවත් දන්නවාදැයි සැක සහිතය...

ප.ප.ලී. : යන්තම් පෝස්ට් පනහයි… පනස් වෙනි පෝස්ට් එකට නිවාඩුව මොනවා හරි හොඳට ලියන්ඩ හිටියේ… මූණුපොතේ ෂෙයාර් වුණු මේ පොටෝ  එක දැකලා රෑ හදිසියෙම මේක ලියවුණා… පෝස්ට් පණහක් පුරා දුක සැප බෙදාගත් හැමදෙනාටම ගොඩක් ස්තූතියි..!

49. දිය පිට ඇන්දා සිතුවම්…

ටික දිනෙකින් යාවත්කාලීන නොවූ මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කෙරෙමින් තැබෙන මේ කෙටි සටහන විශේෂ කරුණක් වෙනුවෙන්…

මීට වසරකට පමණ පෙර බ්ලොග් අඩවියක් නොතිබූ මා, මාගේ පළමු නිර්මාණය යොමුකලේ එකල ජනප්‍රිය බ්ලොග්කරුවෙකු වෙතටයි… එහි ගුණාත්මකභාවය නොසලකා කිසිදු පැකිළිමකින් තොරව ඔහු එය තම බ්ලොග් අඩවියේ පළකරමින් මට දුන් සහයෝගය මා ජීවත්වන තෙක් අත් නොහැරිය හැකියැයි විශ්වාස කලහැකි අපූරු විනෝදාංශයකට මේ වනවිට මා තල්ලු කර ඇතිවා පමණක් නොවෙයි පුද්ගලිකව මාහට සෑහිමට පත්විය හැකි ලිපි අඩුවශයෙන් එකක්වත් ලියාගැනීමට ශක්තියක් වී අවසන්… ඉතින් එවැනි නැකතකින් උපන් මට, මාගේ බ්ලොග් අඩවියේ යමක් පළකර දෙන ලෙස ඉල්ලා තවකෙකුගෙන් ලැබුණු ඉල්ලීමක් කිසිසේත්ම නොසළකා හැරිය නොහැකියි… මේ අද දින එසේ මට ලැබුණු නිර්මාණයක්… තම ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් බැටකන හිරිමල්වියේ යව්වනයෙක් විසින් තම සිතෙහි නැගෙන අව්‍යාජ සිතිවිලි අකුරු කිරීමට ගෙන ඇති මේ අහිංසක උත්සාහය බොහෝ දුරට ඔහුගේ පළමු නිර්මාණය විය හැකියි…

ආදරයේ විරහවෙන් වේදනා විඳින්නෙකුට හැඟීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩදී කටයුතු කරනායුරු ගැන දැනමුතුකම් දීමට මා සුදුස්සෙකු නොකරන හේතු බොහොමයි… එනිසා ඔහු වෙනුවෙන් ඔබට යමක් පැවසිය හැකිනම් එය ජීවිතයේ සුළි කුණාටු වලදී රුවල් හසුරවන අයුරු තේරුම් ගන්නට ඔහුට අත්වැලක් වේවි… මේ කිසිදු සංස්කරණයක් සිදු නොකල ඒ පණිවුඩයයි…

 

දහසක් සිතුම් බලාපොරොත්තු පොදිබැදන් ආ ගමනේ
නොසිතු විරු අයුරින් හබා ආ බාධා මැද
මාත් එක්ක ගත කළ ජිවිතය ගැන තුති පුදන්නට වදන් නැත මට
ආදරය දි හිත පිරෙන්නට ආලොaකය දි ජිවිතය ජය ගන්නට
මවක මෙන් මා ඉදිරියට ගෙන ගිය ඔයාට සදා ණයගැති මා ජිවත් වන තුරාවට

ඔයාගේ ආදරයේ සිහින ආතරින් ගලා ආ මගේ ජිවිතයට ජිවයක් දුන්
පෙම්වතියක,සහොදරියක හා මවක මෙන් මා පසු පස ඉද  ජිවයක් දුන්
ඔයව හැර දමා යන්නේ කෙහොමද මම?
ඔයත් එක්ව ඉද මේ සසර ගෙවන්න මම ගත් උත්සාහයට
අරුත දෙන්නට දුන් සහයට පින් සැමදා ඔයාට
 
මගේ ජිවිතය, මගේ ආත්මය වුනාට ඔයාට ගොඩක් පිං
කියාගන්න බැරි ආදරයකින් බලා ඉන්නම් මම කවදා හෝ
ඔයත් එක්ක ඉද ජිවත් වන්නට මා ගන්න උත්සාහය
ඔයත් එක්ක ඉද ලස්සන ලොaකයක් හදන්න මා උත්සහා කරනවා තවමත්

පෙර ආත්මයක අපි මේ ලෙසින් එකට ජිවත් වෙන්න ඇති
මම කොහොමද ඒ බැදිම අතහැර ඔයාගෙන් ඇත් වෙන්නේ
මගේ ආදරය ඔයාගේ හිත පිරෙන්න දෙන්න මම ගත්ත උත්සාහයේ
මට පුලුවන් වුන එක අවස්ථාවක් හරි ගැන හිතලා සතුටු වෙන්නම් මම

~ හිමත් ~

 

ප.ලි. : නොබෝ දිනකින් සැබෑ වෙන සයිබර් සිහිනයට අකුරු බ්ලොග් අඩවියේ උණුසුම් සුභපැතුම්..!

48. කූඩුවේ රිළව් | Caged Apes

photo 2 copy
කූඩුවෙම ඉපදිලා...
කුඩුවෙම මැරිල යන...
රිළවෙක්ලු මම තවත්...

මුත්තා අපෙ කියන්නේ...
තියෙනවලු මහා ලොකු...
ලෝකයක් විසාලෙට...
දැල් හතරට පිටින්...
විහිදෙනා හුඟක් දුර..

කියවන්නෙ ඔය ඉතින්...
කැලෑ දිය ඇලි ගැනත්...
අඹ කෙසෙල් හැර තවත්...
පළතුරුත් මොනවදෝ...
කවුළුවෙන් නොවැටෙනා...
ගස් පඳුරු වල හැදෙන...

වයසයිනේ උන්දෑට...
දෙඩවිල්ල හිතලු ගැන...
පොරි ද මේ...
තව නැද්ද..?


පිංතූරය : පසුගිය දිනෙක නොවැලැක්විය හැකි හේතුවක් නිසා  සත්තුවත්තට ගිය විටෙක ගන්නාලදී... විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න...

47. සොඳුරු සිහිනෙක පාට තවරමු | Painting the Dreams

 

“එන්න ඔය ඇති දැන් යන්…”

අම්මා ඇයගේ යෙහෙළියගෙන් නිවසින් එළියට බහින ගමන් එසේ පවසන්නේ ගෙමිදුලේ චොපර් බයිසිකලයක් තල්ලු කරමින් සිටින මාහටයි…

“ඇති… අපි යනවා…”

මාගේ අලුත් යෙහෙළියට ඇයගේ බයිසිකලය බාර දෙන මා ඇයගෙන් සමුගන්නේ තවත් රවුමක් බයිසිකලය තල්ලු කිරීමට ඇති ආශාව මඬින ලද සිතින්…

“අම්මේ අපිටත් බයිසිකලයක් ගන්න බැරිද..?”

මා අසන්නේ ඉන් බොහෝ වේලාවකට පසු අප නිවස ආසන්නයේදී… නිවසින් බැහැරට යන වේලාවන්හිදී කිසිවක් නොඉල්විය යුතු බවට අම්මා විසින් මැනවින් පුහුණු කරන ලද මගේ සංයමය බිඳින්නේ එහෙමත් දිනෙකයි…  බරැති සුසුමක් හෙළන අම්මා මා හිස අත ගාන්නේ නිහඬ මුවින්…

පිළිතුර සරලයි…

“බයිසිකලයක් ගන්න කොයින්ද පුතේ අපිට සල්ලි…”

ඉන් සති කිහිපයකට පසු පාසැල නිමවී නිවසට එන මා හට දකින්නට තිබෙන්නේ ගෙපිලේ හේත්තු කර ඇති චොපර් බයිසිකලයක්…

දන්නා හඳුනන අය ලවා ආරංචි කරගෙන පාවිච්චි කල බයිසිකලයක් අඩු මිලට සොයා ගන්නටත්… එය මිලදී ගන්නටත් අම්මා මහත් වෙහෙසක් දරන්නට ඇති…

නමුත් මට හොරෙන් එය රැගෙන විත් බලාපොරොත්තු නොවූ මොහොතක මට තිළිණ කර මා මුහුණේ ඇඳුණු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…

********

“හෙට කම්බි ඇදලා කරන්ට් දෙනවලු… ඔහේලගේ වයරින් කරලා තියෙන ගෙවල් සේරටම හෙටම කරන්ට් ලැබේවි…”

අප නිවසට රැස්වුණු අවට ගම් වැසියන්ට තාත්තා කියන්නේ ජයග්‍රාහී ලීලාවෙන්… තම නිවස වයරින් කරගන්නට මුදල් නැතත් ගමට විදුලි බලය ලබා ගැනීමට තාත්තා ආණ්ඩුව සමග  ගෙනගිය හුදෙකලා සටනින් ඔහුට ජය හිමිවන්නට ඇත්තේ තව හෝරා කිහිපයයි…

“හැබැයි ඉතින් මෙච්චර මහන්සි වුණ එකේ සිරිල් අයියටත් කරන්ට් ලැබුණනම් තමයි අපිට හිත සැනසීම…”

“තව මේ පොඩි වැඩ ටිකක්නේ ඉතුරු වෙලා තියෙන්නේ… ඒ ටික හෙට අනිද්දාම එකලාසියක් කරගත්තම හරි…”

තාත්තා කියන්නේ අහිංසකව සිනාසෙමින්…

පසු දින තාත්තා රැකියාවට පිටත්ව යන්නේ ඉර අවරට හැරුණු පසු නැවත නිවසට පැමිණේද්දී, තම නිවසේ නැතත් අවට නිවෙස් වල විදුලි ආලෝකය දැකීමේ බලාපොරොත්තුවෙන් විය යුතුයි…

ඒ පාසැල් නිවාඩු කාලය නිසා නිවසේ නතර වී කෙළි සෙල්ලමෙන් මිදුලේ කාලය ගතකරන මා දකින්නේ ප්ලාස්ටික් බට, වයර් රෝල් වැනිදේ කිහිලි ගන්නාගෙන යතුරු පැදිවලින් අප නිවසට සේන්දුවන තාත්තාගේ මිතුරන් කිහිප දෙනෙක්…

“පුතේ අම්මා ඉන්නවද..?”

“ඉන්නවා…”

මා පවසද්දීත් අම්මා ගෙපිලට පැමිණ අවසන්…

“අක්කේ සිරිල් අයියා ලයිට් වැඩේට ගොඩක් මහන්සි වුණ එකේ එයා කළුවරේ ඉද්දී අපිට ලයිට් තිබිලා වැඩක් නෑ… අපි හදන්නේ සිරිල් අයියා හවස වැඩ ඇරිලා එන්න කලින් ගෙදර කරන්ට් සෙට් කරන්ඩ…”

පැය ගණනාවක් ඔවුන් කඩිසරව වෙහෙස මහන්සි වී වැඩ කරන අයුරු මා බලා සිටියේ ඔවුන්ගේ සැලැස්ම ගැන එතරම් අවබෝධයකින් නෙවෙයි… සවස තාත්තා නිවසට එද්දී වැඩ සියල්ල නිමා කර නිවසේ එකදු කුප්පි ලාම්පුවක්වත් නොදල්වා මුළු නිවසම අඳුරේ තබන්නේ ඔවුන්ගේ සැලැස්මකට අනුවයි…

“මොකද මේ ගේම කලුවරේ… ලාම්පුතෙල් ඉවරද...?”

එසේ අසාගෙන තාත්තා ගෙටගොඩවෙද්දී තිලකේ අංකල් මේන් සුවිච් එක දමන්නේ මුළු නිවසම ඒකාලෝක කරමින්… විදුලි ආම්පන්න වියදමත්, වරුවක් තිස්සේ ඔවුන් කිහිපදෙනෙක් වූ මහන්සියත් සුළුපටු නොවෙයි… නමුත් බලාපොරොත්තු නොවූ මොහොතක නිවසේ විදුලිය දැල්වීමට සලස්වා තාත්තාගේ මුහුණේ ඇඳුණු  සිනහව දැකීමෙන් ඔවුන් ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…

*********

මේ අතීත සිදුවීම් දෙක ගැලපුවේ වෙනත් කතාවක් කියන්නයි… ජීවිතයේ කෙනෙකුට සතුටුදායක දෙයක් ලබාදිය යුත්තේ සර්ප්‍රයිස් එකක් ලෙස බව මා තරයේ අදහන කරුණක්… එවිට එහි සතුට වඩාත් ඔපදමාගත හැකියි… මේ අද මට ලැබුණු එවැනි සර්ප්‍රයිස් එකක්…

දෙමාපිය නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්ව විදේශ රටක ගතකරන ජීවිතයක අහිමි වන දේ බොහෝමයි… සිතූ සැණින් සපයා ගත නොහැකි ලංකාවේ සමහරක් කෑම බීම ඉන් එක් දෙයක්…

“මට ආසාවක් ආවා හැලප කන්න… මේ පාර නිවාඩුවට යද්දී ඔයාලගේ අම්මට කියන්න හැලප හදන්න කියලා හොඳේ..?”

දින කිහිපයකට පෙරදී,  හැලප හදමුදැයි නොකියා මා ඇයට එසේ කියුවේ හැලප සෑදීමට හැකිදැයි  ඇසීම මොඩකමක් බව දන්නා නිසයි… කුරක්කන් පිටි නම් කොහෙන් හරි හොයාගත්තායැයි කියමු ඒත් දෙවියනේ කැන්ද කොල මොන ලෝකෙන් හොයන්නද..?

දවස් කීපයක් ගතවෙන්නේ සුපුරුදු නිහැඬියාවෙන්… නමුත් සියල්ල වෙනස් වෙන්නේ අද සවස තේ මේසයට පැමිණෙන මේ අමුතු පිඟානෙන්…

IMAG0117

 

“මේ මොනවද..?”

“ඇරලා බලන්ඩකෝ…”

 

IMAG0121

හැලප..!!!

මා නොමැතිව කිසිදින නිවසින් බැහැරැට ගොස් නැති ඇයට නාඳුනන රටක කුරක්කන් පිටි හොයමින් නගරය පුරා තනිවම සැරි සරන්නත්, අවශ්‍ය අනෙකුත් අඩුම කුඩුම මිලට ගෙන අවසානයේ මෙය සෑදීමටත් වෙනදාට වඩා වෙහෙසක් ගන්නට සිදුවෙන්නට ඇති… එහෙත් ඇලුමිනියම් පැහැති ෆොයිල් කොලය විවෘත කර බැලීමෙන් පසු මා මුහුණේ ඇඳුනු සිනාව දැක ඇය ලද සතුට මිල කල නොහැකි බව මට විශ්වාසයි…

තවකෙකුගේ පුංචි සිහිනයක් පාට කිරීමට ඔබ ගතයුතු වෙහෙස බොහෝ විය හැකියි… එහෙත් එසේ කිරීමෙන් ඔබ ලබන සතුට මිල කල නොහැකිනම් ඔබ ජීවිතය උපරිමයටම විඳි කෙනෙක් බව නිසැකයි…

46. මගේ පොරොන්දුව | This I Promise

thank you

සැපට හැදෙන කිරි ටොයියන්…
පුංචි සීතලක් දැණුනත්…
හතර හන්දි පණ නැති වී…
ඇම්බියුලන්ස් ඇදන් යද්දී…

ඇස් බොඳවෙන මීදුමටත්…
බොයිල් කරන ගින්දරටත්…
ගහන පරක්කුව විතරයි…
යං එහෙනම් මං එන්නම්…

ෂෙඩියුල් දුරවල් පැනලා…
දින වකවානුත් මැකිලා…
තවත් ඉතින් බැහැ කියලා…
නැත කිසිදින මගඇරලා…

කණ කැස්බෑ වියසිදුරෙන්…
අහස දකින දින එනකල්…
හරකා වගේ උඹ අදිනවා…
නැත දුක් ගැනවිලි කිසිවක්…

එහා පැත්තේ කෲසරයෙක්…
ප්ලැටිනම් හැලි හිස් කරද්දී…
සිල්වර් උගුරු දෙක තුනකින්…
තොල කට පොඟවන් නිහඬව…

ෂැම්පු, ෆෝම් මොකුත් නැතිව…
දූවිලි පිහදා ක්සණිකව…
සැරදාලා ලෑස්ති වෙයි…
මගෙ ජීවන බර අදින්න…

නොදන්නවා නෙවෙයි උඹට…
මගෙන් කෙරෙන කෙණහිලිකම්…
මගේ පුංචි හිත මිතුරේ…
තව පන්දාහක් ඇදපන්…

ෆ්ලෂ් කරලා සක් කරලා…
ජැක් වොෂ් එකකුත් දීලා…
ලබන පාර සලකනවා…
පොරොන්දු වෙන්නම් දිවුරා…

ප/ලි : සත්තයි..!

ගැටපද විවරණය : ඇම්බියුලන්ස්=ආපදා රථය  | ෂෙඩියුල් දුර=ඊළග සර්විස් එකට නියමිත කි.මී. සීමාව | කෲසරයෙක්=ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් | ප්ලැටිනම්=ඉස්තරම් තත්වයේ එන්ජින් ඔයිල් | සිල්වර්=සාමාන්‍ය තත්වයේ එන්ජින් ඔයිල්  | ෆ්ලෂ්  / සක්=එන්ජිමේ ඇති දහනය වූ ඔයිල් යන්ත්‍රානුසාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම  | ජැක් වොෂ්=වාහනය ඔසවා කරන සාමාන්‍ය සේදීමකට වඩා හොඳ සේදීමක්

45. ඇබ්බැහිවීම | Addiction

ඇබ්බැහිවීම…!

එය පිළිකාවක් තරමටම රුදුරුයි…

මත් වතුරට… දුම් වැටියට… හෝ අනියම් ප්‍රේමයකට කියා එහි අල්ප මාත්‍රයකවත් වෙනසක් නැහැ…

හදවතේ ගැඹුරුම කොනකට කතා කරන මේ මන බන්දනීය පදමාලාවෙන් දෙන පණිවිඩය අඩුවක් නැතිව තේරුම් ගත හැක්කේ ඒ ඇබ්බැහියෙන් මිඳිමට සටන් කල අයෙකුටම පමණක් බව නිසැකයි…

තවත් කියන්නට දෙයක් ඉතිරි කර නැහැ… කෙනී චෙස්නීට ගයන්නට ඉඩ දෙන්නම්…

you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough…

 

සමාවේවා…

උඩ වීඩියෝ එකට දේශසීමා ගැටළු ඇත්නම් මේක ට්‍රයි කරන්න… ස්තූතියි ඇනෝ ඒ ගැන දැනුම් දුන්නාට…

Kenny Chesney - You And Tequila Full Song Lyrics

Baby, here I am again
Kicking dust in the Canyon wind
Waiting for that sun to go down

Made it up Mulholland Drive
Hell bent on getting high
High above the lights of town

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

Thirty days and thirty nights
Been putting up a real good fight
And there were times I thought you'd win

It's so easy to forget
The bitter taste the morning left
Swore I wouldn't go back there again

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

When it comes to you
Oh, the damage I could do
It's always your favorite sins
That do you in

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

Never enough, you and Tequila
You and Tequila make me crazy

වසරක් ගෙවුණා… පොතකුත් ගැහුවා…

cloud

මේ කෙටි සටහන මෙම බ්ලොග් අඩවියට විශේෂ කරුණක් වෙනුවෙන්… අකුරු බ්ලොග් අඩවිය පටන් ගෙන අදට හරියටම අවුරුද්දයි… සිංහල බ්ලොග් ලෝකයේ මෙය නොගිණිය හැකි තරම් කුඩා පියවරක් වුනත්, පුද්ගලිකව මාගේ බ්ලොග් දිවියේ යෝධ පියවරක්…

වසරක් ගතවුණත් පෝස්ට් 50 ක් සම්පූර්ණ කරගැනීමට හැකිවුණේ නැහැ… ඒත් ඒ කෙටි සටහන් ප්‍රමාණය කියවන්නට පැමිණි ඔබ සැමට අතිශයින්ම ස්තූතියි…

වසරක් පිරෙන මොහොතේ අලුත් යමක් කරන්නත් ආසා හිතුණා… ඒ ගතවූ වසරේ මා ලියූ සටහන් වලින් තෝරාගත් සටහන් දහයක් ඇතුළත්  විද්‍‍යුත් පොතක් නිර්මාණය කිරීමයි… පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් අනතුරුව පෙන්වන තිරයේ ෆුල් ස්ක්‍රීන් දමාගතහොත් එය අපහසුවකින් තොරව කියවන්නට හැකිවේවි… නැතිනම් PDF ලෙස බාගත හැකියි…

බ්ලොග් කියවන ලියන ඔබ සැමට 2012 වසර සාර්ථක වේවා..!!!

 

PDF එක බාන්න

  

 

ප/ලි : මෙම ඊ-බුක් එක හැදුවේ කෙසේදැයි කෙනෙකු දැනගැනීමට කැමතිනම්; ඒ මයික්‍රොසොෆ්ට් වර්ඩ් 2010  ඩොකියුමෙන්ට් එකක් PDF ලෙස සේව් කර එය www.issu.com හි ගිණුමක් සාදා උඩුගත කිරීමෙනුයි…

44. දෙවෙනි රැල්ල | Then came the second wave

tsu

 

අපි බැහැලා දුවමුද..?
එක පාරම මම ඇහුවා…
නැහැ දැන් අඩුවෙයි…
තාත්තා කිව්වේ…
කෝච්චියේ වහපු ජනේලෙන්...
එළිය බලාගෙන…

 

මටත් ඕනේ වුනේ…
ජනෙල් වීදුරුවෙන් එහා...
එළිය බලන්න…
ඒත් ඊට කලින්…
මම තාත්තා දිහා බැලුවා…
පොඩි වෙලාවකට…
ඒත් මට තාත්තාගේ මූනෙන්…
ඇස් ඉවතට ගන්න හිතුණේ නෑ…

 

වළ ගැහුණු කම්මුල්…
මම දැකලා නෑ… 
තාත්තා සිගරැට් බොනවා...
බීඩි..? නෑ ඒත් නෑ…
හොරෙන් බොනවද දන්නෑ…

 

බාගෙට වැවුණු රැවුල් කොට…
තැනින් තැන සුදු වෙච්චි…
සමහර තැන් වල වැඩී…
තවත් තැන්වල අඩුවෙන්…

 

නහර වැල් පෑදිලා..
බෙල්ල දිගටම… 
වැවිලා හොඳටම...
කොණ්ඩෙත්…
වයසටත් වැඩියෙන්…
නාකි පාටයි…
හේනේ… කාස්ටක අව්වේ…
පොළව පෙරළලා…
කාසි අහුලනවනෙ…
මගේ කැම්පස් වියදමට…

 

අහිංසක තාත්තා…
ජීවිතේ විඳින්නේ…
එහෙමත් දවසකට…
මට ලෝබ හිතුණා…
ඉස්ටේසමෙන් බැස්ස ගමන්…
එක්ක යන්න ඕනේ...
තාත්තාව…
ටවුමේ තියෙන………………….

 

ඒ දිරපු මූණ දිහා බලාගෙන…
එච්චරයි හිතන්න ලැබුණේ මට…
ඒ ත්    එ ක් ක ම  …

.

.

.

.

.

.

.

දෙවෙනි රැල්ල ආවා…!

 

 

ජීවිතය නැමති සුනාමියේ දෙවෙනි රැල්ල එන්නට පෙර ලොව සියලු පියවරුන්ගේ පැතුම් ඉටුකරන්නට දූ දරුවන්ට හැකිවේවා… මියගිය ජීවත් වන කිසිවෙකු මෙවන් විපතකට නැවත ගොදුරු නොවේවා..!

43. සීතල උඳුවප් මාසය | Such a Cold December

december1

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

එයා එහෙම අහන්නේ ඔළුව පැත්තකට ඇල කරලා… එහෙම ඔළුව පැත්තකට ඇල කරලා කවුරුත් මගෙත් එක්ක මීට කලින් කතා කරලා නෑ… කතාකළා නම් කතාකෙළේ කෙළින් මගේ දිහා බලාගෙන… නැත්තම් අහක බලාගෙන… ඒත් එයා පළවෙනි දවසේ ඉඳන්ම මගේ ජීවිතේට එක්කළේ වෙනසක්… එයා ඔහොම අහන්නේ අත්දෙක තදින් බැඳගෙන… දුම් දාන කෝපි කෝප්පය ඉස්සරහා… කෝපි වල රසට වැඩිය මිනිස්සුන්ට ප්‍රබෝධයක් ඇතිකරන්නේ ළා දුඹුරු පාට කෝපි දියර මතුපිටින් නැගෙන දුම් රැල්ල වෙන්නැති… ඒ දුම් රැල්ල හරි අද්භූතයි… තමන් අවට පරිසරයට පුදුම විදියට සංවේදීයි… හැගීම් වලින් අනූන කෙනෙක් ඉදිරියේ නම් දුම් රැල්ල කෝපි කෝප්පයෙන් ඉහළට නැගෙන්නේ ලතාවකට… හරියට භාවනාවක් වගේ… ඒත් හිතේ කලබල වෙලාවට කෝපි කොප්පයක් බීලා බලන්න…දුම් රැල්ලත් හරි කලබලයි…

ඒකාකාරී ජීවිතේට වෙනසක් එක්කරන අලුත් මිතුරිය ඉස්සරහා ඉන්න මට මේ ගෙවෙන හැම මොහොතක්ම සර්ව සම්පූර්ණයි… මොන සීතලක්ද..? මම පිළිතුරු දෙන්නේ මඳ සිනාවකින්…

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

ගානට එක මට්ටමට කපපු මල් වැට… ඒ පිටිපස්සෙන් පේළියට රෝස පඳුරු… පාරනම් ටිකක් කලුයි… තාර නිසා… අපිළිවෙළයි හැඩිවෙලා සමහර තැන්… ඒත් ඒ පාරෙන් මෙහාපැත්තේ… තණකොළ බිස්ස පටන් ගද්දිම වගේ තියෙන සිමෙන්ති බංකුවේ මට අයිති හතරෙන් එකයි… ඇයට හතරෙන් තුනක්ම… උඩු බැලි අතට දිගාවෙලා හිස මගේ ඔඩොක්කුවේ තියාගෙන ඇය අහන්නේ අත් දෙක බැඳගෙන… උරිස් හකුළුවමින්… අපි මේ පාරෙන් ආවොත් හැමදාම වාඩිවෙන්නේ මේ සිමෙන්ති ආසනේ… තව ඒවා නැතුව නෙවෙයි… ඒත් මේක හදලා තියෙන්නේ හරියටම අපි දෙන්නාගේ මිම්මට… මම වාඩි වෙලා ඇය ඔඩොක්කුවෙන් දිගාවුණාම...අගලක්වත් අඩුත් නෑ…වැඩිත් නෑ… ඇස් මට්ටමට එකවගේ පෙනුණට අනිත් ආසන මීට වැඩිය දිග පළලින් වෙනස්… ඒවා හදලා ඇත්තේ වෙන ආදරවන්තයන්ට වෙන්න ඇති…

එකක් ඉවර වෙද්දි එකක් ගලා එන ඇගේ වචන වලට මම හූමිටි තියන්නේ ඇගේ හිසකෙස් අතරේ ඇගිලි තුඩු යවමින්… මිතුරියක් වී සිටියදීම නොදැනුණු සීතලක් මට ඇය ආදරවන්තිය වූ කල කොයින්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

කන්පෙති දිගේ දෙතොල් ගෙනයමින් ඇය රහසින් මුමුනන්නේ ඇසෙන නෑසෙන හඬින්… පුළුන් පිරවූ සුදු ඝනකම් පොරෝනය මත අපේ සිරුරු වල හැඩයට රේඛා බෙදිලා… දන්නවද අපි හැමෝගෙම මුළු ශරීරේම උණුසුම තමයි…උදාහරණයක් විදියට එදා මේ මගේ කම්මුලේ දැවටුන ඇගේ හුස්ම රැල්ලේ ඉඳන් ඇගේ පාදවල සිහින් දිගටි ඇගීලි පුරුක් අතරට යනකල්ම… හැබැයි ශරීරයේ සමහර තැන් සාමාන්‍ය ප්‍රමානයට වඩා උණුසුමයි… තවත් සමහර තැන්… ගිනියම් වෙන තරම්… ඒක තනි තනිව විඳින්න බැරි උණුසුමක්… කෙනෙකුට තවකෙකුගෙන් විඳින්නට හැකි මේ උණුසුම විඳින්නට ලැබෙන්නේ ආදරය ඇති තැනක විතරයි… මුදලකට හිලව් කරලා ගන්න හැදුවොත්, කොච්චර උත්සාහා කළත් ලැබෙන්නේ උණුසුමක් නෙවෙයි… කාන්සියක්… මහන්සිය වැඩිවෙන තරමට කළකිරීමයි වැඩිවෙන්නේ…

හවස් වරුව පුරා තිබුණු චුරු චුරුව තරමක වැස්සකට හැරුනා… ඉතින් වැහැපන් වැස්ස ඇතිවෙනකල්… ඇය සිරුර පුරා උණුසුම අඩු වැඩි වෙන අයුරු විඳින මට මොන සීතලක්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

හැම උඳුවප් මසකම අහපු ඒ පිළිතුරක් නැති ප්‍රශ්නයට හිත සීතලෙන් ගල්කරන පිළිතුරක් තිළිණ කරලා ඔබ නික්ම ගිහින්… පට පට ගාමින් ඇවිලෙන ගිනි මැලය ඉදිරියේ… ගතවට දැවටුණු ඝන පොරෝනයකින් සන්නද්ධව… කලබල දුම් රැල්ලකින් වටවුණු තිත්ත කෝපි කෝප්පයක් තොලගාන මට ජීවිතේ පළමු වරට උඳුවප් මාසේ උහුල ගන්න බැරි සීතලක් ඇතැයි අවබෝධ වෙන්නට පටන් අරන්…

snowsnowsnow

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
පැවසුවා මුණගැසුණු මුල්දින
කෝපි හලකදි ඔබ එදා...
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
රෝස උයනක සොඳුරු සවසක
ඇකයේ මා ඔබ හිස හොවා…
දැනුණෙ නෑ ඔබ කී විටෙක මට
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කෙඳිරුවා නෑසෙනා ගානට
තුරුළු වී පපුතුරට මා …
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කියන්නට අද ඔබ නොමැති සඳ
අහිමි උණුසුම සිත අරා…
සක්සුදක් සේ දැන ගතිමි මම
උඳුවප් සීතලයි කියා…

snowsnowsnow

පිංතූරය : Smashing Magazine December Wallpapers

42. ජීවිතය සුන්දරයි | Life is Beautiful

“මේ අපේ කවුන්සලර්… නිල්මි…”

මාව අයතනය පුරා රැගන යන අතරේ, අප පසුකර කඩි කුලප්පුවෙන් මෙන් දිවගිය සුන්දර යුවතියක් නැවතූ කළමණාකාරතුමා ඇයව මට අඳුන්වල දුන්නා… ඇය මවාගත් ලෙන්ගතු කමකින් මාගේ සුරත අල්ලා ගත්තේත්, කිහිප වරක් සෙළවූයේත්, නැවත අත හැරියේත්… “වෙල්කම් ඔන් බෝර්ඩ්…” යැයි පැවසූයේත් යන මේ සියල්ල එක විට  සිදුකළේ තත්පරයකටත් වඩා අඩු කාලයකින් වාගෙයි මට දැණුනේ…

“ස්තූතියි… හමුවීම සතුටක්…” මා ප්‍රතිචාර දක්වද්දී ඇය සිටියේ අප පසුකර කොරිඩෝව දිගේ නැවතත් දිවයමින්…

“සී… යා… අරවුන්ඩ්…” ඒ හඬ ආවේ ඇය කොරිඩෝ බිත්තියෙන් නොපෙනී ගියාටත් පසුවයි…

තත්පර කිහිපයක් පමණක් පැවති අප දෙදෙනාගේ පළමු හමුව වූ එය, අප සුහදව වෙන්වූ එකම හමුවද වූයේ අවාසනාවන්ත ලෙසයි…

ඉන්පස්සේ ඇය හා මට ගනුදෙනු කරන්නට සිදුවූ සෑම අවස්ථාවක්ම ගුටි බැට හුවමාරුවකින් තොරව නිමාවූයේ අප දෙදෙනා විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු වූ නිසා විය යුතුයි…

“මේ නිල්මි ඇයි බන් මගෙන් හැමදාම ගේම ඉල්ලන්නේ…” මගේ අලුත් ආයතන සගයාට මා පැවසූයේ ඇය සමග වූ දුරකථන සංවාදයකින් හෙම්බත්ව දුරකථනය විසන්ධි  කිරීමෙන් අනතුරුවයි…

“මචං උඹට කියන්න අමතක වුණා… උන්ගේ ගැන් එක අපිත් එක්ක තරහයි… අපිත් එහෙමයි… ඕක අවුරුදු ගානක ඉඳන් එන්නේ… ඉතින් උඹ මගෙත් එක්ක ඉන්න නිසා උන් හිතන්න ඇති උඹත් අපේ ගැන් එකේ කියලා… ඒකයි ඔය…”

ඔහු දුන් පිළිතුර තවත් කිහිපදෙනෙකුගෙන් මට වූ කෙනෙහිළිකම් කිහිපයක් එකට අමුනා ගන්නට ප්‍රමාණවත් වුණා…

“උඹ දැන්ම තීරණේ කරපන් උඹ මොන ගැන් එකටද සෙට් වෙන්නේ කියලා… නැත්තම් උඹට මේකේ පැවැත්මක් නෑ… උඹ අපේ ගැන් එකේනම් දැන් වරෙන් මගෙත් එක්ක මේ ඇටෙන්ඩන්ස් රෙජිස්ටරියේ ෆොටෝකොපි එකක් ගන්න එලියෙන්…”

“ ඒ මොකටද…?”

“උන්ගේ එකෙක් අද ආවේ නෑ, ඌට හෙට ඇවිල්ල සයින් කරන්න හිස් රූලක් ඉතුරු කරලා අරුන්… මම ඇහැගහගෙන හිටියේ… මම හදන්නේ මේකේ ෆොටෝ කොපි එකක් අරන් හෙඩ් ඔෆිස් එකට අරින්න…”

ඔහුගේ ඒ පිළිතුරෙන් අලුත් ආයතනයේ මට යෑමට ඇති ත්‍රාසජනක ගමන ගැන මූලික අදහසක් මට ලැබුණා…

නිල්මි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර යුවතියක්… එසේම ඇය වෘත්තිමය හැකියාවන්ගෙන් අනූන බවත්… ඒ සියල්ලටම වඩා ඇය සිත් ගත්වුන්ට ඇය ඉතා ලෙන්ගතු මිතුරියක් බවත් මට මඳ කලකින් වැටහෙන්නට වුණා… නමුත් ඇයගේ ඒ සියලු ගුණාංග අභිබවා යන වැදගත් හේතුවක් දිගින් දිගටම අප දුරස් කළා.. ඇය උන්ගේ ගැන්සියේ… මම අපේ ගැන්සියේ…

“සික්… මටත් ඒ ගැන්සියට යන්නයි තිබුණේ… “  වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතට නැගෙන මේ මිත්යාදෘෂ්ටික සිතිවිල්ල මම මැඩගන්නේ අපහසුවෙන්…

~~~~~~~~~~

දින සති මාස ගෙවී ගියේ අලුත් ආයතනයේ නුහුරු බව කෙමෙන් මගෙන් දුරස් කෙරෙමින්… අලුත් මිතුරන් සුහද වෙන සීග්‍රතාවයට සමානුපාතිකව අලුත්  සතුරන් සතුරු වෙමින් තිබුණෙ එකිනෙකාගේ පුද්ගලික දුර්වලතාවයන්ටත් වඩා අයතනයේ දේශපාලනික උවමනා එපාකම් මතයි…

තවත් සිකුරාදා සවසක රාජකාරී වේලාව අවසන් වීමට ආසන්නයි… සුපුරුදු පරිදි මම නිල්මිත් සමග දුරකථන ගැටුමක උච්චතම අවස්ථාවේ…

“ඒ කියන්නේ ඔයා උත්සාහයක් දරන්න වත් ලෑස්ති නැද්ද…? මම මේ උදව්වක් ඉල්ලන්නේ…”

“එකපාරක් කිව්වම තේරුම් ගන්න… ජෙනරල් ප්‍රොසීඩියර්ස් වලින් පිට මට මොකුත් කරන්න බෑ… සොරි…!!! බීප් බීප් බීප්…”

දුරකථනය විසන්ධි වෙන්නේ මගේ කෝපය දෙගුණ කරමින්…

“මොකද්ද සීන් එක..?”

විසන්ධි වුන දුරකථනය පසෙකින් තබා සුසුමක් හෙළු මගෙන් ‘අපේ ගැන්සියේ’ එකෙක් ඇසුවා…

“ කෝපරේට් ට්‍රේනින් එකකට වීකෙන්ඩ් එකේ මට රත්නපුරේ යන්න වෙනවා… නවතින්න සෙට් කරලා තියෙන්නේ එස්ටේට් මැනේජර්ගේ බංගලෝ එක… කලින් නලියා ඕකේ ඉඳලා කිව්වා එතන කුක් උයන කෑම බල්ලෙකුටවත් කන්න බෑ කියලා… හොටෙල් එකක් සෙට් කරන්න කිව්වාම ජෙනරල් ප්‍රොසීඩියර් එකෙන් පිට කියලා බෑ කියනවා… ”

“හ්ම්… මොනා කරන්නද… අපි රිටන් එක දෙමු… උඹ ගිහින් වරෙන්…”

පිටට තට්ටු කරමින් ඔහු මට පවසන්නේ තමන්ගේ පළිගැනීමේ ටු ඩූ ලිස්ට් එකට තවත් අයිටම් එකක් එකතු කරගනිමින්…

එදින රාජකාරී නිමවා නිවසට යද්දී විදුලි සෝපානයේදී මුනගැසුනු නිල්මී මා දෙස බැලුවේ වරදකාරී හැගීමකින්…

“මගේ නම්බර් එක ගන්න… එහේ මොනවා හරි ප්‍රශ්ණයක්නම් මට කතාකරන්න, මම කෝඩිනේට් කරන්නම්…” ඇය එසේ පැවසුයේ සියවරක් තමාගේ හොඳ සිත හා නරක සිත අතර පෙරළිකිරීමෙන් අනතුරුව බව මට විශ්වාසයි…

“උන්න හැටියට මළා මදැයි…” ඇයගේ සිත මඳකින් හෝ තෙත්වීම ගැන මට ඇතිවූයේ ජයග්‍රාහී සතුටක්…

~~~~~~~~~~

මම කුඩා කළ සිට ගෙවූ දුෂ්කර ජීවිතය නිසා පුරුදු වූ ලද දෙයින් සතුටුවීමට ඇති හැකියාවට පින්සිදුවන්නට  නලියා පැවසූ අපහසුතාවයන් කිසිත් මට රත්නපුරේදී  ගැටලුවක් වූයේ නැහැ… එදින රාත්‍රී ආහාරයෙන් පසු නිදිවේලාව එළඹෙන තුරු කල්මරමින් සිටි මට මොන මොනවාදෝ කියවන රූපවාහිනියත්, පසෙකින් බිම දිගාවී අදුරු රබර්වත්තට විටින් විට විපරම් කරන බලු තඩියාත්, සිමෙන්ති පඩිය මත වාඩිවී වතුයායේ ඉතිහාසය වර්ණනා කරන මහලු කෝකියාත් ගෙන ආවේ කම්මැලිකමක්…

මා හොඳින්දැයි බැලීමට නිල්මි දුරකථන ඇමතුමක් දේවියැයි යන බලාපොරොන්තුවෙන්දෝ  ජංගම දුරකථනය මා සුරතේ රැඳි තුබුණා… එනමුත් ඇමතුමක් නැති එහි  නිසල තිරය හිතට ගෙන ආවේ මොකද්දෝ සිහින් වේදනාවක්… ඇය ගැන සිහිවීමෙන්දෝ එළිය වු හිතට අලුත් අදහසක් ජනිත වෙන්නට වැඩි වේලාවක් ගියේ නැහැ…  ජංගම දුරකථනයේ යතුරු උඩ වේගයෙන් මාගේ ඇගිලි දිවෙමින් ටයිප් වන්නේ ඇයට කෙටි පණිවුඩයක්…

“එක්ස්කියුස් මී මෑම්… මට මෙතන ඉන්න බැහැ…”

නී නීක්… නී නීක්… පිළිතුර හිතුවාට වඩා ඉක්මනින්…

“මොකද්ද ප්‍රශ්ණේ…”

“මේක හොල්මන් මන්දිරයක්…”

නී නීක්… නී නීක්…

“ඇත්තටමද කියන්නේ… මොකද වුණේ..?”

“ඔව් ඇත්තටම… ගොඩක් දේවල් වුණා… දැනටත් වෙනවා…”

නී නීක්… නී නීක්…

“මොනවද වෙන්නේ කියන්න..?”

“මගේ බෙඩ් රූම් එකේ ජනේලේ කොච්චර වැහුවත් ටික වෙලාවකින් ඉබේම ඇරිලා… ජනේලෙන් එහාපැත්තේ රබර් ගහක් යට ඉඳන් කොණ්ඩේ කඩාගත්ත පුංචි ගෑනු  ළමයෙක් කාමරේ දිහා බලන් ඉන්නවා…”

නී නීක්… නී නීක්…

“දෙවියනේ ඔයා ඔය ඇත්තද කියන්නේ…? වෙන මොනවද වුණේ…”

“ඔව් ඇත්ත… මගේ රූම් එකට එහා පැත්තේ රූම් එක වහලා තියෙන්නේ… ඒකේ ඇතුළෙන් ගෑනු කෙනෙක් අඬන සද්දයක් එනවා…”

නී නීක්… නී නීක්…

“දෙවියනේ… එහෙම වෙන්න විදියක් නෑ… මුරකාරයා විතරයි ඉන්නවා කිව්වේ… බොරු නේ ද ඔය කියන්නේ…?”

“බොරු නෙමෙයි ඇත්ත… මේ දැන් වුණ දේ ඇහුවොත් ඔයා පුදුම වෙයි… මටනම් තවත් මෙතන ඉන්න බෑ…”

නී නීක්… නී නීක්…

“මොකද්ද දැන් වුණේ…?”

“මම නාන්න හිතාගෙන බාත් රූම් එකට ගිහින් ෂවර් එක ඇරියා… ෂවර් එකෙන් වතුර වෙනුවට ආවේ ලේ…!!!”

ටා  රාරා ටරරර රා රා… ටා රාරා ටරරර රා රා…

‘Incoming >> Nilmi’

තිරයේ සටහන් වන ඇමතුම මගේ මුවගට ගෙනාවේ ජයග්‍රාහී හිනාවක්…

“හෙලෝ..”

“හෙලෝ… ඔයා හොඳින්ද… කලබල වෙන්න එපා… හොඳට හුස්ම ගන්න ඉස්සෙල්ලා…”

“නෑ නෑ එහෙම ලොකු අවුලක් නෑ…”

“දැන් කොහොමද මේ රෑ වාහනයක් හොයන්නේ ඔයාව ඔතනින් එළියට ගන්න..? මම තාත්තත් එක්ක එන්නද..?”

“නෑ නෑ එහෙම ඕනේ නෑ… මට ඉවසගෙන ඉන්න පුළුවන්… පොඩ්ඩක් බය ඇරෙන්න ඔයා කතා කර කර ඉන්නවද...?”

“හරි බය වෙන්න එපා… එළිවෙනකල් උනත් මම කතා කර කර ඉන්නම්…”

ඉන්පසු ගතවූ පැය දෙකක පමණ කාලය කෙසේ ගත වූවාදැයි මට මතක නැහැ… ජීවිතයේ මා ලද සුන්දරතම දුරකථන ඇමතුමක් ඇත්නම් ඒ නිසැකවම මෙය විය යුතුයි… ඇයගේ සිතුම් පැතුම්, ආදරය විරහව, ප්‍රථම ප්‍රේමයේ සිත් රිදවීම් යනාදී මෙකී නොකී සියලු දේ ගැන කාලයේ  බැම්මෙන් මිදී ඔහේ කියවාගෙන යන ඒ සොඳුරු කතාබහ අවසන් කළයුතු යැයි මා සිතුවේ ඇයව දිගින් දිගටම අවදිව තබාගනිමින් වෙහෙස කිරීම නොමනා නිසායි…

“එහෙනම් අපි නිදාගමු නේද..? මට හෙට උදේම නැගිටින්නත් තියෙනවනේ…”

“ඇයි…දැන් ඔයාට බය නැද්ද..? ජනේලේ තාම ඇරිලාද..?”

“නෑ ඒක දැන් හරි… මම හිතන්නේ හරියට ලොක් වෙලා තිබුණේ නෑ… හුළගට ඇරෙන්න ඇත්තේ… මම තදින් ලොක් කළා දැන් හරි…”

“එතකොට ගෑනු ළමයා…?”

“මම බයවුණ පාරට එහෙම දැකලා තියෙන්නේ… ඒ දිරපු රබර් කොටයක්… දැන් හඳ එළියට හොඳට පේනවා…”

“ඈහ්…? එහා පැත්තේ රූම් එකෙන් සද්ද ඇහෙන්නෙත් නැද්ද..?”

“දැන් තමයි මම දැක්කේ ඒ මුරකාරයගේ රූම් එක… එයාගේ ටීවී එක දාල තිබිලා තියෙන්නේ.. මම හිතන්නේ ඒකේ නාට්‍යයක් යනවා…”

“එතකොට ෂවර්…?????”

“මේ…  ලේ වගේ දැක්කට…ඒ මලකඩ ඇවිල්ලා තියෙන්නේ… ඒක ගොඩ කාලෙකින් යූස් කරලා නැද්ද කොහෙද… දැන් හොඳට වතුර එනවා…”

“මගෙ අම්මෝ ඔයා මෙච්චර වෙලා එතකොට බොරුද මට කිව්වේ…”

“බොරු හරි ඇත්ත හරි අපි දැන් හොඳ යාළුවොනේ… ඒක කොච්චර දෙයක්ද…?”

~~~~~~~~~~

කාලයට වැඩි වේගයෙන් අපේ මිතුදම ස්ථාවර වුණේ උන්ගේ ගැන්සියේත්, අපේ ගැන්සියේත් සම්ප්‍රදායන් බිඳිමින්…

“ඇයි ඔයා මේ කම්පැණි එකෙ නිකන් ඔයාගේ කැරියර් එක නාස්ති කරගන්නේ…? වෙන එකකට යන්න ඉක්මණට…” විටෙක නිල්මි මට පවසන්නේ කිසියම් රසකැවිල්ලක් බෙදාගන්නා අතරේයි… තවත් දිනක ඇය මාගේ මේසයට පැමිණෙන්නේ ඉරුදින මිලදී ගත් සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ පිටුවක් සමගයි…

“මේක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් නේද..? මම ඊයේ පත්තරේ බලද්දි දැක්කේ…”

ඇයගේ ලෙන්ගතුකම තනිකඩ මගේ සිතට වාසනාවන්ත අනාගතයක් ගැන බලාපොරොත්තු එක්කරද්දී ඒ ගැන ඇගෙන් ඇසීමට මම පැකිලෙන්නේ ඇය මිතුරුකමින් එහා යමක් මට ඉගි නොකරන නිසාවෙන්… අවදානමක් ගෙන අවසානයේ වැරදි වැටහීමක් නිසා මට කිසිවිටකත් අහිමි කරගැනීමට බැරි මිතුරියක් ඇය…

“මේක තවත් හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ… මම  එයාගෙන් අහනවා මට කැමතිද කියලා…”

ඇය පෙන්වූ රැකියා අවස්ථාවට මා තෝරාගත් බව දැනුම්දෙමින් ලැබුණු දුරකථන ඇමතුමට පිළිතුරු දී හමාර වීමෙන් පසු මම තීරණය කරන්නේ ඇය සදහටම මගේ කරගන්නා අරමුණින්… මේ අතරම උණ සෑදීම නිසා නිල්මි පෙර දිනයේ  රැකියාවට නොපැමිණි බව ඇයගේ යෙහෙළියගෙන් මම දැනගත්තේ නිල්මිගේ දුරකථනය ක්‍රියාවිරහිත මන්දැයි විපරම් කරත්දීයි…

ඉන්පසු දිනය පුරාවට ඇයගේ ජංගම දුරකථනයට ඇමතීමට දිගින් දිගටම ගන්නා අසාර්ථක උත්සාහයක් ගණනාවක් අවසානයේ මගේ සිතට අස්වැසිල්ලක් එක්කරමින් තිරයේ දිස්වන්නේ ඇයගේ ජංගම දුරකථනයෙන් මට ලැබෙන ඇමතුමක්…

“හෙලෝ…”

“හෙලෝ ඔයාද බීට්ල් කියන්නේ…”

පුදුමයකට මෙන් අනෙක් පසින් ඇසෙන්නේ පිරිමි කටහඬක්…

“ඔව්… කවුද කතාකරන්නේ..?”

“මම නිල්මිගේ මල්ලී… ඔයා නිල්මිව දන්නවද..?”

“ඔව්… එයා කෝ…?”

“අක්කට හොඳටම උණ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා…”

“නෑ…? දැන් කොහොමද අක්කට..?”

“ඩොක්ටස්ලා කියනවා එයාට ඩෙංගු කියලා… ලෝ ප්‍රෙෂර් ඇවිල්ලා දැන් හරියට සිහියක් නෑ… එයා සැරින් සැරේට ඔයාගේ නම කියනවා… ඉතින් මම එයාගේ මොබයිල් ෆෝන් එකේ නිකමට ඔයාගේ නම සර්ච් කලා… එහෙම තමයි මේ කෝල් කලේ…”

“මල්ලී මම දැන් හොස්පිටල් එකට එන්නද..?”

“අයියට පුළුවන්නම් ලොකු දෙයක්…”

ඇමතුම විසන්ධි කළ මම ආයතනය ඉදිරියෙන් ත්‍රීවීලරයකට නැගගන්නේ  අධික දුකකුත්, අධික සතුටකුත් මිශ්‍ර වූ පුදුමාකාර හැගීමකින්… තවත් ටික වේලාවකින් ඇය සිටි කාමරයට ඇතුළු වුණු මා, එහි සිටි ඇයගේ පවුලේ සමීප හිතවතුන්,දෙමාපියන්, හෙදියන් පසෙකට වී ඉඩදෙද්දී වී. අයි. පී. අමුත්තෙකු මෙන් ඇයගේ ඇඳ අසලට ලගාවෙන්නේ රටක් රාජ්‍යයක් දිනූවෙකු ලෙසින්…

“ඔයා මට කැමතිද..?” එදා මා අසන්නට සිතාගත් ඒ ප්‍රශ්නය කිසිදිනෙක ඇයගෙන් අසන්නට මට අවශ්‍ය වූයේ නැහැ… එදා මෙදාතුර වසර ගණනක් ගෙවී අවසන්… මෙය ලියන විටත් මා බඳ වටා අත දමාගෙන පසෙකින් නිදන ඒ පුංචි සුරංගනාවියගේ කොට්ටය යටින් දහවල් මිලදී ගත් උපන්දින තෑග්ග සඟවන මා නින්දට යන්නේ සතුටු සිතින්… Smile

I'd take a gold band on my hand…… over being a single man…… [Woman Like You - Lee Brice]
Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics